වසංගත රෝග තත්ත්වයන් සදහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක්

වසංගත රෝග තත්ත්වයන් සදහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකය විවෘත කිරීම ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මෙම ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වූයේ මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවධානම නිසාවෙන් බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා.

මෙම ඒකකය පෙරවරු 7.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතව තැබෙන අතර 011 – 744 65 13 / 011-768 27 22 / 011- 768 28 72 / 011- 768 26 62 දුරකථන අංක ඔස්සේ සරම්ප, රුබෙල්ලා ඇතුලු වසංගත රෝග පිළිබද තොරතුරු විමසා ජනතාවට දැනුම්වත් විය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ.

එමෙන්ම නොවැම්බර් මස 04 සිට 09 දක්වා විශේෂ සරම්ප / රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එම කාලය තුළ පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල ගෙයින් ගෙට ගොස් සරම්ප සදහා පූර්ණ ලෙස ප්‍රතිශක්තීකරණය නොලැබූ වයස මාස 09 ත් අවුරුදු 30 ත් අතර පුද්ගලයින් හදුනා ගැනීම සහ ඔවුන් දැනුවත් කිරීම, තෝරා ගත් රැකියා ආයතන සහ උසස් අධ්‍යාපන ආයතන වෙත ගොස් අවුරුදු 20-30 අතර කාණ්ඩයේ සරම්ප රෝගය සදහා පූර්ණ ප්‍රතිශක්තිකරණය නොලැබූ පිරිස හදුනාගැනීම සහ දැනුවත් කිරීම, විශේෂ එන්නත් සායන පැවැත්වීම (සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල තෝරාගත් නිත්‍ය ප්‍රතිසංස්කරණ සායනවල සහ රැකියා සහ උසස් උධ්‍යාපනික ස්ථාන වල පිහිටුවනු ලබන විශේෂ ප්‍රතිශක්තිකරණ සායනවල සරම්ප එන්නත ලබාදීම), මහජනතාව දැනුවත් කිරීම (මාධ්‍ය ආයතන, ප්‍රජා නායකයින් සහ සෞඛ්‍ය වෘත්තිකයන් හා එක්ව සරම්ප රෝගය සහ විශේෂ ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි වැදගත්කම පිළිබදව දැනුවත් කිරීම පෙන්වා දිය හැක.

එන්නත් ලබාදීම ‌නොවැම්බර් මස 09 සිදු කරනු ලබන අතර එදින ද පැමිණීමට නොහැකිවන පිරිස් වෙත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා එන්නත් ලබාදීමට කටයුතු සම්පාදනය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියා.

2019 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය. කොවිඩ් 19 වසංගතය සමග ලොව පුරා බොහෝ රටවල එන්නත්කරණය අඩාලවීම නිසා ගෝලීයවත්, අප කලාපයේ රටවලත් සරම්ප රෝග තත්ත්වයක් ඇති විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ මැයි මස සිට ශ්‍රී ලංකාව තුල නැවතත් සරම්ප රෝගීන් වාර්තා විය.

එක් සරම්ප රෝගියෙකුගෙන් 18 දෙනෙකුට බෝවීමට ඉඩ ඇති බව සහ මාරාන්තික අතුරු අබාධ ඇති කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නොමැති අයවළුන් වේ නම් වහාම එන්නත් ලබාගත යුතු බවත්, මේ පිළිබද ලගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් ද තොරතුරු විමසිය හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර සිටිනවා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ආනල්ඩ්, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ හසිත තිසේරා ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩල පිරිසක් එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *