යාල්දේවී දුම්රිය මාස 10කට පසු අද පෙරවරුවේ යාපනය – කන්කසන්තුරය බලා පිටත්ව ගියා.
එය මෙම කාල සීමාව තුළ ධාවනය සිදු නොකළේ උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා කොටසේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන්.
කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු මාර්ගයේ දිනපතා දුම්රිය ධාවනය කරන බැවින් දුම්රිය හරස් මාර්ග භාවිතා කරන ජනතාව ඉතා සැලකිලිමත් විය යුතු බවයි.
රුපියල් මිලියන 300ක ඇස්තමේන්තුවක් යටතේ ප්රතිසංස්කරණයට ලක්වූ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රියක් පැයට කිලෝමීටර් 100ක වේගයකින් ධාවනය කිරීමට හැකියාව පවතිනවා.
යාල්දේවි දුම්රිය කන්කසන්තුරය බලා යාමට සූදානමින් අද කොළඹ කොටුව 4 වැනි වේදිකාවට මෙලෙස පැමිණියේ මාස 10කට අධික කාලයකට පසුවයි.
ඒ අනුව, කොළඹ කොටුවෙන් පෙරවරු 5.45ට පිටත් වූ දුම්රිය මහව දුම්රිය ස්ථානයට ළඟා වුණේ පෙරවරු 9.30ටයි.
එමෙන්ම කන්කසන්තුරයේ සිට සෑම දිනකම පෙරවරු 10.30ට දුම්රියක් කොළඹ කොටුව බලා ධාවනය වන අතර එය පස්වරු 6.30 පමණ වන විට කොළඹ කොටුවට ළඟා වීමට නියමිතයි.
උතුරු දුම්රිය මාර්ගය යළි විවෘත වීමත් සමග කොළඹ කොටුවේ සිට ත්රිකුණාමලය දක්වාත් ත්රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය වන දුම්රිය කාලසටහන් සංශෝධනය කර තිබෙනවා.
එමෙන්ම කොළඹ කොටුව – මඩකලපුව සහ මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය පිළිබඳ කාලසටහනද දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සංශෝධනය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.