“ගුණධර්ම වර්ධනය කිරීමට හා දුසිරිත් තුරන් කිරීමට,” යනුවෙන් පවසමින්, පසුගිය සතියේ ඇෆ්ඝනිස්ථානයේ තාලිබාන් පාලනය විසින් හඳුන්වා දෙනු ලැබූ, නව නීතිවලට, කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවල ශබ්ද නගා කතා කිරීම සහ නිවසින් පිටතදී ඔවුන්ගේ මුහුණු පෙන්වීම තහනම් කිරීම ද ඇතුළත් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය “සිරිත් විරිත් සීමාකිරීම” සඳහා බව කියන නීතිය හෙළා දැක තිබෙන අතර, එම නීති බලාත්මක කිරීම පිළිබඳව අවධානයෙන් පසු වන බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ නිලධාරියෙකු පසුගිය ඉරිදා අනතුරු ඇඟවූයේ, මෙම නව නීති “ඇෆ්ඝනිස්ථානයේ අනාගතයට ඛේදජනක ඉරණමක්” අත්කර දෙනු ඇති බවට ය.
තාලිබාන් සංවිධානයේ ආධ්‍යාත්මික නායකයා වන හයිබතුල්ලා අඛුන්සාදා මෙම නීතිය අනුමත කර තිබිණි
මෙම නීතිවලින් රටේ කිසි ම අයෙකු නිදහස් නොවන බව, ගුණධර්ම ප්‍රචාරණ හා දුසිරිත් වැළක්වීමේ අමාත්‍යංශය ලෙස නිල වශයෙන් හඳුන්වන සදාචාර අමාත්‍යංශය අවධාරණය කළේ ය.
ඇෆ්ඝන් ජනතාව අඳින ඇඳුම් පැළඳුම්වල සිට, පොදු ස්ථානවල හැසිරෙන ආකාරය, කන බොන දේ මොනවා ද යන්න සෙවීම දක්වා ඔවුන්ගේ සමාජ ජීවිතයට මැදිහත්වීමට නව නීති මාලාව මගින් “මොහ්තසබීන්” (තලේබාන් සදාචාර පොලිසිය) වෙත ඉඩ දී තිබේ.
නව නීතියට අනුව, පොදු ස්ථානවල කාන්තාවන්ගේ කටහඬ “අශ්ශීල” ලෙස සලකනු ලැබේ. නව සීමාකිරීම් මෙසේ ය: “වැඩිහිටි කාන්තාවක් අවශ්‍යතාවකට නිවසින් බැහැර වන සෑම අවස්ථාවකදී ම ඇගේ කටහඬ, මුහුණ සහ ශරීරය ආවරණය කර ගැනීමට බැඳී සිටී.”
අමාත්‍යංශය මේ වන විටත් ෂරියා නීතිය (ඉස්ලාම් ආගමික නීතිය) මත පදනම් වූ සදාචාරාත්මක අවශ්‍යතාවන්ට සමාන නීති ක්‍රියාත්මක කර ඇති අතර, ඊට අනුගත නොවුණු දහස් ගණනක් ජනතාව අත්අඩංගුවට ගෙන ඇතැයි එම අමාත්‍යංශය පවසයි.
තාලිබාන්වරුන්ට අනුව එම නීති, ෂරියා නීතිය පිළිබඳ ඔවුන්ගේ අර්ථ නිරූපණය සමග අනුකූල වන අතර, 2022 වසරේදී තාලිබාන් ආධ්‍යාත්මක නායකයාගේ නියෝගයක් මත පදනම් වූ සහ වර්තමානයේ නිල වශයෙන් නීතියේ ප්‍රකාශයට පත්කර ඇති සදාචාර අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.