උතුරට අවශ්‍ය කුකුල් මස් හා බිත්තර පළාත තුළම නිෂ්පාදනය ඇරඹේ

උතුරු පළාතේ ජනතාවට අවශ්‍ය කුකුල් මස් හා බිත්තර ප්‍රමාණය උතුරු පළාත තූළම නිෂ්පාදනය කර ගැනීමට හැකි වන අන්දමට කුකුළු ගොවිපලවල් වැඩි දියුණු කිරීමට පියවර ගැනීමට උතුරු පළාත් ආණ්ඩුකාරිණී පී.එම්.එස්.චාර්ල්ස් පියවර ගෙන තිබෙනවා.
මේ තුළින් ඉතා අඩු මුදලකට උතුරේ ජනතාවට කුකුල් මස් හා බිත්තර මිලට ගත හැකි වන බවයි ආණ්ඩුකාරවරිය ප්‍රකාශ කරන්නේ.
උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පලාත් ප්‍රධාන ලේකම් සමන් බන්දුලසේන ඇතුලු රාජ්‍ය හා පෞද්ගලික අංශ නිලධාරීන් සමග පැවති රැස්වීමකදී උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් විසින් මේ බව නිලධාරීන්ට දැනුම් දෙනු ලැබූවේ.
දැනට උතුරු පළාත තුළ වසරකට කුකුල් මස් මෙට්‍රික් ටොන් 8505 ක ප්‍රමාණයක් හා බිත්තර මිලියන 39.70 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන අතර එම ප්‍රමාණය දෙගුණයකින් පමණ වැඩි කිරීමට හැකි නිසා එම ඉලක්කය කරා කුකුලු ගොවීන් යොමු කරවන බව ආණ්ඩුකාරවරිය කියා සිටියි.
2018 වසරේදී වාර්ෂික බිත්තර නිෂ්පාදනය මිලියන 36.58 ක් වුවද 2022 වසර වන විට එම ප්‍රමාණය මිලියන 39.70 ක් දක්වා වර්ධනය කරගැනීමට හැකි වූ බවත් කුකුල් මස්ද 2018 වසරේදී තිබූ මෙට්‍රික් ටොන් 7860.64 ක ප්‍රමාණය 2023 වසරේදී මෙට්‍රික් ටොන් 8505 ක් දක්වා වැඩි වී ඇතැයිද ඇය පෙන්වා දුන්නාය.
මේ අනුව 2023 වසර අවසන් වීමට පෙර මෙම ප්‍රමාණයන් තවත් වැඩි කරලීමට නම් උතුරේ සිටින ආර්ථික දුෂ්කරතා පවතින පවුල් වෙනුවෙන් නොමිලේ කුකුල් පැටවුන් ලබාදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදී කුකුල් මස් සහ බිත්තර නිෂ්පාදන ප්‍රමාණයන් වැඩි කරගත යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.