ඖෂධ නිසා වූ මරණ පිළිබඳ විමර්ශණයට විශේෂඥ කමිටුවක් අද නම් කෙරේ

සෞඛ්‍ය

පසුගිය මාස කිහිපය ඇතුළත රජයේ රෝහල්වල සිදුවූ මරණ අතුරින් සෞඛ්‍ය අංශයට චෝදනා මෙන්ම විවේචන එල්ලවූ සියලු මරණ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදීම සඳහා පත්කරන පංච පුද්ගල කමිටුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අද (17) නම් කිරීමට නියමිතයි.

ඖෂධ පිළිබඳව මෙන්ම ආසාත්මිකතා සම්බන්ධයෙන් ද වෛද්‍ය සහ හෙද යන දෙඅංශය සම්බන්ධයෙන් ද පුළුල් දැනුමක් හා අවබෝධයක් ඇති මහාචාර්යවරුන් ඇතුලු පස්දෙනෙකුගෙන් මෙම විද්වත් කමිටුව සැදුම් ලබනවා.

මෑත කාලයේ රජයේ රෝහල්වල සිදුවූ මතභේදයට තුඩුදුන් සියලු මරණ සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් සිදුකර ඇමතිවරයාට ඔවුන් වාර්තාවක් ලබාදීමට නියමිත බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ.

මේ අතර පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී එන්නතක් ලබාදීම හේතුවෙන් මියගිය බවට සැළකෙන තරුණිය පිළිබඳ සිදුකරන ලද විමර්ශනයට අදාළ වාර්තාව අද (17) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත භාරදීමට නියමිතයි.

උදරාබාධයක් හේතුවෙන් පසුගියදා රෝහල් ගතකළ 21 හැවිරිදි තරුණියකට සෙෆ්ටි්‍රඇක්සෝන් නැමති ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

තරුණියගේ දෙමාපියන් චෝදනා කළේ රෝහලේදී ලබාදුන් එන්නත හේතුවෙන් තම දරුවා මියගිය බවටයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කෙරුණු අතර, ඔවුන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ගොස් ඒ සම්බන්ධයෙන් සොයාබලනු ලැබුවා.

එම නිරීක්ෂණ අනුව සකස් කරනු ලැබූ වාර්තාවයි අද සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාරදෙනු ලබන්නේ.

මෙම සිද්ධියත් සමඟ පේරාදෙණිය ශික්ෂණ රෝහල, සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල සහ මහනුවර ජාතික රෝහල නිරීක්ෂණය කර ඒවායේ අධ්‍යක්ෂවරුන්, පරිපාලන නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සමඟ පෙරේදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙරේදා විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ මතභේදයට තුඩුදුන් සෙෆ්ටි්‍රඇක්සෝන් නැමති ප්‍රතිජීවක ඖෂධය මහනුවර සහ පේරාදෙණිය රෝහල්වල භාවිතය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බවයි.

එම ඖෂධ කාණ්ඩ පරීක්ෂාව සඳහා වෛද්‍ය රසායනාගාරය වෙත යැවීමට පියවර ගන්නා බව ඔහු කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *