ඇසළ පෙරහැරේ විදුලි ඇස්තමේන්තුව ගැන සාකච්ඡාවක් හෙට

ඇසළ පෙරහැර

ඇසළ පෙරහැරේ විදුලි ආලෝකකරණය සඳහා ඇස්තමේන්තුගත මුදල සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.

දළදා මාලිගාව, සතර දේවාල මෙන්ම නගර සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු සියලු ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එම සාකච්ඡාව දළදා මාලිගා පරිශ්‍රයේ දී පැවැත්වෙන බවයි ඔහු කියා සිටියේ.

පසුගිය වසරේ ඇසළ පෙරහැරේ විදුලි ආලෝකකරණය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් ලක්ෂ 90ක්.

මෙවර එය රුපියල් එක්කෝටි තිස්දෙලක්ෂ අනූ නවදහසක් දක්වා වැඩිවී ඇති අතර, යම් ගාස්තු සහනයක් ලබාගැනීම පිළිබද හෙට (18) පැවැත්වෙන සකච්ඡාවේ දී විශේෂ අවධානයක් යොමු කරනු ඇති.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 21 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

එවැනි පසුබිමකයි දළදා මාළිගා පරිශ්‍රය, සතර දේවාල පෙරහැර වීථි සංචාරය කරන මාර්ග ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට අවශ්‍ය අමතර විදුලි ආලෝකකරණ කටයුතු සඳහා ගෙවිය යුතු මුදල් පිළිබඳව විදුලිබල මණ්ඩලය විසින් දියවඩන නිලමේවරයා වෙත ලිඛිත දැනුම්දීමක් කර තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *