හිටපු ජනපතිට නියම වූ වන්දියට මිලියන 15ක් ගෙවා අවසන්

මෛත්‍රිපාල සිරිසේන
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව ඔහු විසින් වන්දි වශයෙන් රුපියල් මිලියන 15 ක මුදලක් ගෙවා ඇතැයි වාර්තා වේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මෝසමේ සඳහන් කර තිබෙන්නේ තමන්ට හිටපු ජනාධිපතිවරයා වශයෙන් විශ්‍රාම වැටුප් වශයෙන් මාසිකව රුපියල් 97500/- ක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දීමනා හැර රුපියල් 54, 285 ක මුදලක් ද ආදායම වශයෙන් ලැබෙන බවයි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලැබූ රුපියල් මිලියන 100 ක් වන්දි මුදල අතුරින් ඉකුත් ජුනි මස 28 වනදා රුපියල් මිලියන 10 ක් සහ රුපියල් මිලියන 5 ක් බැගින් රුපියල් මිලියන 15 ක මුදලක් වන්දි වශයෙන් හානිපූර්ණ කාර්යාලයේ පවත්වාගෙන යන පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූවන්ගේ අරමුදලට ගෙවා ඇති බවත් එම මෝසමේ සඳහන් කර තිබෙනවා.

ඉතිරි වන්දි මුදල් රුපියල් ලක්ෂ 85 බැගින් වාරික 10 කින් 2024 වසරේ ජුනි මස 30 වනදා සිට 2033 වසරේ ජුනි මස 30 වන දා දක්වා කාලය තුළ වාර්ෂිකව ගෙවා අවසන් කිරීමට අවසර දෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා සිය මෝසම මාර්ගයෙන් ඉල්ලා තිබෙනවා.

ඉකුත් ජනවාරි මස 12 වනදා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දොළහකට අදාළ තීන්දු ප්‍රකාශයට පත්කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *