බෞද්ධ දූත පිරිසක් තායිලන්තයේ සිට දිවයිනට

බෞද්ධ දූත පිරිස
ශ්‍රී ලංකාවේ උපසම්පදාව ආරම්භ කර වසර 270ක් සැපිරීම නිමිත්තෙන් තායිලන්තයේ සිට බෞද්ධ දූත පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

තායිලන්තයේ උබෝන් සංඝරාජ අචාන් ප්‍රරාවිෂන් තාරා පාත් උත්තමෝ මහ තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) කටුනායක ගුවන් තොටුපලට පැමිණි මෙම දූත පිරිසට භික්ෂූන් වහන්සේ අට නමක් සහ ගිහි නියෝජිතයින් 17 දෙනෙකු ඇතුළත්.

මෙම දූත පිරිස තායිලන්තයේ වත්මන් රජුගේ මුත්තනුවන් වන 8 වන රාම රජතුමා, මෙරට තුන්මාසයක තාවකාලික පැවිදි උපසම්පදාව ලබා සිටි කොළඹ කොටහේන දීපදුප්තාරාම විහාරස්ථානය වෙත ගොස් එතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට ද නියමිතයි.

එමෙන්ම දූත පිරිස අනුරාධපුරය, මහනුවර දළදා මාළිගාව, ජාත්‍යන්තර නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානය, කැළණිය රජමහා විහාරය ආදී පූජනීය ස්ථාන ද වැඳපුදා ගනු ඇති.

මෙම දූත පිරිස විසින් මෙරට සාමණේර භික්ෂූන් වහන්සේලා 25 දෙනකුට තායිලන්තයේ බෞද්ධ උසස් අධ්‍යාපනය නොමිලේ හැදෑරීමට නේවාසික ශිෂ්‍යත්ව 25 ක්ද පිරිනැමීමට නියමිතයි.

මීට වසර 270කට පෙර ශ්‍රී ලංකාවේ උප සම්පදාව පිහිටුවා නැවත සංඝ ශාසනය ස්ථාපිත කිරීමට සරණංකර සංඝරාජ හිමියන්ට උපසම්පදාව ලබාදී සියම් මහ නිකාය පිහිටුවනු ලැබුවේ තායිලන්තයේ සිට පැමිණි උපාලි මහ තෙරුන් විසින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *