ජනාධිපති ලේකම්ගෙන් අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්

පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන රැස්වීමකට විපක්ෂ නායකවරයා, රාජ්‍ය නිලධාරීන් කැඳවීමට අදහස් කරන්නේ නම්, ඔහු විසින් එම විෂයට අදාළ අමාත්‍යවරයාව ලිඛිතව දැනුවත් කළ යුතු බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක පවසනවා.

ඊට අනුකූලව එම රැස්වීම්වලට සහභාගී වීමට නිලධාරීන්ට අවසර ලබා දෙනු ඇති බවයි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම්වලට සහභාගි වීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ ඕනෑම කාරක සභා රැස්වීමකට සහභාගි වන නිලධාරීන් සාකච්ඡාවට භාජනය වන විෂයයන් පිළිබඳ දැනුමෙන් සන්නද්ධ විය යුතු අතර කාරක සභාව විසින් ඉල්ලා සිටින විට තොරතුරු සැපයීමට සූදානම් විය යුතු බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක අදාළ උපදෙස් මාලාවෙන් දක්වා තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා, කතානායකවරයාට සහ පාර්ලිමේන්තු මහලේකම් වෙත පිටපත් සහිතව සියලු‍ අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත මෙම ලිපිය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

න්‍යාය පත්‍රයේ ඇති කරුණු සම්බන්ධයෙන් කාරක සභාවේ සාමාජිකයින් විසින් මතු කරන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අවශ්‍ය කරුණු ගොනු කිරීම සඳහා පූර්ව රැස්වීම් පැවැත්විය යුතුයි.

කෙසේ වෙතත්, න්‍යාය පත්‍රයට ඇතුළත් නොවන ප්‍රශ්න නිලධාරීන්ගෙන් අසන අවස්ථාවලදී, ඒ සඳහා පිළිතුරු දීමට සහ ප්‍රතිචාර දැක්වීමට සාධාරණ කාල සීමාවක් ඉල්ලා සිටිමින් එම එකඟ වූ කාලය තුළදී ප්‍රතිචාර දැක්විය යුතු බවයි ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළේ.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන රැස්වීමකට විපක්ෂ නායකවරයා රාජ්‍ය නිලධාරීන් කැඳවීමට අදහස් කරන්නේ නම්, ඔහු විසින් ඒ බව එම විෂයට අදාළ අමාත්‍යවරයාව ලිඛිතව දැනුවත් කළ යුතු අතර, ඊට අනුකූලව එම රැස්වීම්වලට සහභාගී වීමට නිලධාරීන්ට අවසර ලබා දෙනු ඇති බවද අදාළ ලිපියේ සදහන්.

මුදල් හා සම්බන්ධ අධීක්ෂණ කාරක සභා සඳහා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවූ විට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව රැස්වීම්වලට සහභාගි විය යුතු බවත් එහි වැඩි දුරටත් දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *