ඉස්මයිල්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන සිටියදීත් ආරක්ෂක අංශවලට වසන් කළ බවට චෝදනා එල්ලවී දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින දෙමටගොඩ – මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම්ගේ පුත්‍රයෙකු වන ඉස්මයිල් අහමඩ්ගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළා.

අදාළ නියෝගය ලබාදෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඊයේ (06) සඳහන් කළේ විත්තිකරුට ඇප ලබාදීමට තරම් සුවිශේෂි කරුණු අනාවරණ නොවන බැවින් ඇප ඉල්ලීම ඉවත දමන බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් සහ ඔහුගේ පුතුන් දෙදෙනාට එරෙහිව නඩු පවරා ඇති අතර ඉස්මයිල් අහමඩ් හැර අනෙක් දෙදෙනා ඇප මත මුදාහැර සිටිනවා.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම ඊයේ (06) තුන් වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත්තා.

මෙහිදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ශ්‍රී ලංකාව තුළ බෝම්බ ප්‍රහාර 600කට ආසන්න සංඛ්‍යාවක් සිදු වී ඇති බව සඳහන් කළා.

එම ප්‍රහාර බොහෝමයක් සම්බන්ධයෙන් ඊට පෙර බුද්ධි තොරතුරු ලැබී තිබූ බවත් ඔහු කියා සිටියා.

එහෙත් එම ප්‍රහාරවලින් අනතුරුව මෙරට කිසිදු ආරක්ෂක ලේකම්වරයෙකුට එරෙහිව අදාළ ප්‍රහාර වළක්වා නොගැනීම සම්බන්ධයෙන් නඩු පවරා නොමැති බවයි නීතිඥවරයා ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයා රටේ නොමැති අවස්ථාවක හදිසි නීතිය පැනවීම වැනි බරපතල තීන්දු ගැනීමට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිය සේවාදායකයාට බලයක් නොතිබූ බවයි ඔහු පෙන්වා දුන්නේ.

අනතුරුව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම ආරම්භ වුණා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට සඳහන් තොරතුරු සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හොඳින් දැනුවත්ව සිට ඇති බවයි.

වැඩිදුර පෙත්සම් විභාගය ලබන 11 වැනිදා දක්වා කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *