තුර්කියේ ස්ථාන්බූල් සහ කටුනායක අතර සෘජු ගුවන් ගමන් ඇරඹේ

ශ්‍රී ලංකන් ගුවන් සේවා

මේ වසරේ අගෝස්තු මාසයේ සිට තුර්කියේ ස්ථාන්බූල් සහ කටුනායක අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ මීට අදාළ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනි ඩිමෙට් ශෙකිර්ජිඕලු සහ විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර ඊයේ (30) පැවති බවයි.

දැනට තුර්කි ගුවන් සේවාවන් මාලදිවයින හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර මෙහිදී පැය එකහමාරක අමතර කාලයක් වැය කිරීමට සිදුවන බවත් එම ප්‍රමාදයන් පිළිබඳව සංචාරකයින් එතරම් කැමැත්තක් නොදක්වන බවත් තානාපතිවරිය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සාකච්ඡාවට එක්වූ තුර්කි ගුවන් සේවා සමාගමේ දකුණු ආසියානු කාර්යාලයේ ප්‍රධානි ෆාති බොස්කට් ඉල්ලා සිටියේ තුර්කි සංචාරකයින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට වැඩි කැමැත්තන් දක්වන බැවින් ස්ථාන්බූල් සහ කටුනායක අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට අවශ්‍ය කාලය සහ ඉඩකඩ ලබාදෙන ලෙසටයි.

ගුවන් යාන 100කට වැඩි සංචිතයක් පවතින තුර්කි ගුවන් සෝවා සමාගම යුරෝපයේ වැන්කුවර්, නිව්යෝක් යන නගර අතර ද ගුවන් සේවා පවත්වන බැවින් යුරෝපා ජාතික සංචාරකයින් ද ශ්‍රී ලංකාවට රැගෙන ආ හැකි බවයි ඔහු කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *