මන්නාරම් පාසල් අවට විශේෂ ආරක්ෂාවක්

මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් පැහැර ගැනීමට පිරිසක් උත්සාහ කරන බවට ලද තොරතුරක් සමඟ පාසල් ඉදිරිපිට සහ මංමාවත් අවට ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.
පසුගිය දිනක වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් ළමයින් දෙදෙනෙකුට ආහාර වර්ගයක් ලබා දී එම ළමයින් දෙදෙනා පැහැර ගැනීමට උත්සාහ ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ ළමයින් දෙදෙනා ඔවුන්ගෙන් මිදී කෑ ගැසීමත් සමඟ වෑන් රථය පලාගොස් තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ පිළිබඳව අදාළ පාසල් ළමයින්ගේ දෙමාපියන් විසින් පොලිසිය දැනුවත් කර ඇති අතර ඉන් පසුවයි මෙසේ විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ‍යොදා ඇත්තේ.
ඒ අනුව මන්නාරම් නගරයේ පිහිටි පාසල් ඉදිරිපිට මෙන්ම මාවත් ඉදිරිපිටට ද පොලිස් හා යුධ හමුදා ආරක්ෂාවක් යොදවා ඇති බව සඳහන්.
විදුහල්පතිවරුන් හා ගුරුවරුන් විසින් දරුවන්ව දැනුවත් කර ඇත්තේ තනියම පාරේ ගමන් නොකර කණ්ඩායම් වශයෙන් ගමන් කරන ලෙසයි.

එමෙන්ම වැඩිහිටියෙකු සමඟ පාසලට පැමිණෙන ලෙස ද දරුවන්ට උපදෙස් ලබා දී තිබුණා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි මන්නාරම් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *