පළාත් පාලන ආයතන 340 ක නිල කාලය මධ්‍යම රාත්‍රියෙන් අවසන්.

පළාත් පාලන ආයතන

පළාත් පාලන ආයතන 340 ක නිල කාලය ඊයේ (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

ඒ අනුව අද (20) සිට ඒවායේ කටයුතු පළාත් පාලන කොමසාරිස්වරුන් හා පළාත් පාලන ලේකම්වරුන් වෙත පැවරෙන බවයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කළේ.

2018 වසරේ පෙබරවාරී 10 වන දා පැවති ඡන්ද විමසීමෙන් වසර 4ක කාලයක් සඳහා එම ආයතනවලට සභිකයන් තෝරා ගැනුණු අතර ඔවුන්ගේ නිල කාලය ආරම්භ වූයේ එම වසරේ මාර්තු 20 වනදා සිටයි.

එම පළාත් පාලන ආයතනවල වසර 4ක නිල කාලය පසුගිය වසරෙන් අවසන් වුණ ද එවක විෂය භාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව එම කාලය තවත් වසරකින් දීර්ඝ කළා.

කෙසේ වෙතත් 2019 ඔක්තොම්බර් මාසයේදී ඡන්දය විමසනු ලැබූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පමණක් නිල කාලය මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී අවසන් වීමට නියමිතයි.

කාලය අවසන් වූ පළාත් පාලන ආයතන 340 හි නිල කාලය තවදුරටත් දීර්ඝ කළ හැකි ද යන්න සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසීමට පසුගියදා රජය කටයුතු කළා.

එම තීරණය අද තමන්ට ලැබෙනු ඇති බවයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *