පළාත් පාලන ආයතන 340ක කාලය අනිද්දායින් අවසන්

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අනිද්දා අවසන් වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත්, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇතත්, රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ පවසන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මෙතෙක් මුදල් ලැබී නොමැති බවයි.

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අනිද්දා අවසන්වීමත් සමඟ එම ආයතනවල ඉදිරි කටයුතු සිදුකිරීම සහ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අග්‍රාමාතය දිනේෂ් ගුණවර්ධන සහ පළාත් ආණ්ඩුකාරවරු අතර පසුගියදා සාකච්ඡාවක් ද පැවැත්වුණා.

පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන්ගේ පාලනයට යටත් කිරිම සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා වී ඇති බව සඳහන්.

මේ අතර නියමිත පරිදි පළාත්පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් ජනතාවගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර ලබාදුන්නා.

අදාළ පෙත්සම සළකා බැලුනේ ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර, ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *