මරණය

පහර දීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු පොළොන්නරු රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

ඊයේ (15) මෙම ඝාතනය සිදු වී ඇති අතර, මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 46ක පොළොන්නරුව-වැවතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු 14 වැනි දා රාත්‍රියේ බීමත් ව නිවසට පැමිණ සිය බිරිඳ සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති බව සඳහන්.

එහි දී මරණකරු විසින් බිරිඳට යකඩ පොල්ලකින් පහර දීමට උත්සාහ කර ඇති අතර, ඊට මරණකරුගේ පුතා සහ දියණිය මැදිහත් වී ඇති බව යි වාර්තා වන්නේ.

පසු ව මරණකරු ඔවුන්ට ද පහර දීමට උත්සාහ කර ඇති අතර, පුත්‍රයා විසින් යකඩ පොල්ල උඳුරාගෙන පියාගේ හිසට පහර දී ඇති බව වාර්තා වනවා.

ඝාතනය සිදු කළ වයස අවුරුදු 16ක පුත්‍රයා මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර, පොළොන්නරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සඳහන්.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පොළොන්නරු පොලිසිය මඟින් මෙහෙයවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *