වරාය, තෙල්, විදුලි, බැංකු වර්ජනයේ වෙනසක් නැහැ

වර්ජනය

වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප්‍රවාහන සේවා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට නම් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (27) රාත්‍රියේ නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මගීන් හෝ බඩු ප්‍රවාහන සඳහා වූ පොදු ගමනාගමන සේවා, යම් වරායක් ඇතුළත වූ යාත්‍රාවලින් ආහාර හෝ පාන ද්‍රව්‍ය හෝ අගුරු, තෙල් හෝ ඉන්ධන හෝ බෑම, ගෙනයාම, ගබඩා කිරීම, බාරදීම හා ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවා වනු ඇති.

එමෙන්ම මංමාවත්, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළුව මංමාවත්, දුම්රිය මාර්ග හෝ ගුවන් මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබෙනවා.

මේ අතර වරාය, තෙල්, විදුලි සහ බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක සේවකයන් හෙට නියමිත පරිදි සංකේත වර්ජනයේ නිරත වන බව එම වෘත්තීය සමිති පවසනවා.

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් පැවැත්වෙන මෙම වර්ජනය සම්බන්ධයෙන් කොළඹ දී ඊයේ වෘත්තීය සංගම් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

මේ අතර, මෙම වර්ජනයට එක්වනවාද නැද්ද යන තීරණය අද දහවල් ප්‍රකාශයට පත්කරන බවයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් මෙම වර්ජනයට සහය දක්වමින් සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සියලු වෛද්‍යවරු හෙට එක්දින වර්ජනයේ නිරත වන බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *