තැපැල් ඡන්ද අයදුම්පත් භාර දීම 23 වැනි දා දක්වා

තැපැල් ඡන්ද

හෙට සිට ලබන 23 වැනි දා දක්වා සහතික කළ තැපැල් ඡන්ද අයදුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ගෙනවිත් භාර දීමට තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරින්ට අවස්ථාව සලසා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මෙම දින සෙනසුරාදා සහ ඉරිදා යෙදී තිබීම නිසා තැපෑලෙන් අයදුම්පත් ලැබීමේ ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා යි මෙම තීරණය ගෙන ඇත්තේ.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ව තැපැල් ඡන්දය දීම සඳහා වූ අයදුම්පත් භාරගැනීම ලබන 23 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත ව තිබෙනවා.

එමෙන්ම, මැතිවරණ කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව, ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය වීම පිළිබඳ එම මධ්‍යස්ථානයට දුරකථනයෙන්, ෆැක්ස් මගින්, විද්‍යුත් තැපෑලෙන්, වට්ස්ඇප්,වයිබර් හෝ ෆේස්බුක් මගින් පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

මේ අතර, ඊයේත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් නාමයෝජනා භාර දුන්නා.

මාතලේ, නුවරඑළිය, සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට ජාතික ජනබලවේගය නාමයෝජනා භාරදුන් අතර නිදහස් ජනතා සන්ධානය කොළඹ දිස්ත්‍රික්කයට නාමයෝජනා භාරදුන්නා.

එක්සත් ජාතික පක්ෂය මන්නාරමටත්, ඉලංගෛයි තමිල් අරසුකච්චි කිලිනොච්චියටත්, තමිල් මක්කල් විදුතලෛයි පක්ෂය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත්, ජනසෙත පෙරමුණ මොණරාගල දිස්ත්‍රික්කයටත් තවත් ස්වාධීන කණ්ඩායමක් අම්පාරටත් නාමයෝජනා භාරදුන් බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *