වසර 23කට පසු දුම්රියෙන් කොළඹ එලවළු

එළවළු

වසර 23කට පසු දුම්රියෙන් කොළඹ – කොටුවට එළවළු ප්‍රවාහනය කිරීම ඊයේ ආරම්භ කෙරුණා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය යෝජනාවකට අනුව යි.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළඳ සහ අලෙවි අංශය විසින් දුම්රියෙන් එළවළු ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ මැදිරි 05ක් නිර්මාණය කර තිබෙනවා.

නියමු ව්‍යාපෘතියක් ලෙස ඊයේ (27) පස්වරුවේ නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ – කොටුව දක්වා එළවළු ප්‍රවාහනය ආරම්භ කළ අතර, එම විශේෂ දුම්රිය රාත්‍රි 12ට කොළඹ – කොටුවට ළඟා වුණා.

එමඟින් රැගෙන එන එළවළු කොළඹ පිහිටි සුපිරි වෙළඳසැල්වලට සහ මැනිං වෙළඳපොලට යොමු කෙරෙන අතර, සීඝ්‍රගාමී දුම්රියක් ලෙස ධාවනය කෙරුණු මෙම දුම්රියේ මගීන්ට ගමන් කිරීමට අවස්ථාව හිමි නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළඳ සහ අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අසංක සමරසිංහ සඳහන් කළේ.

දුම්රියෙන් එළවළු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි ද අදහස් පළ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *