සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 18යි

සුනාමි

සුනාමි ව්‍යසනය සිදු වී අදට (26) වසර 18ක් සපිරෙනවා.

2004 දෙසැම්බර් 26 වැනි දා උදුවප් පොහෝ දා යි ඉන්දුනීසියාවේ සුමාත්‍රා හී බටහිර වෙරළට ඈතින් හටගත් භූමිකම්පාවෙන් ඇති වූ සුනාමි ව්‍යසනය, ශ්‍රී ලංකාවට බලපෑවේ.

2004 වර්ෂයේ සිදු වූ සුනාමි ව්‍යසනයට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික් 14ක් ගොදුරු වූ අතර, මියගිය සංඛ්‍යාව 35,000ක් පමණ වනවා.

එම නිසා සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීම සඳහා 2005 අංක 15/1975/715/001-1 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව 2006 වර්ෂයේ සිට සෑ ම වර්ෂයක ම දෙසැම්බර් මස 26 වැනි දින ‘ජාතික සුරක්ෂිත දිනය’ ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

මේ අතර, සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදාවලට ගොදුරු වීමෙන් මිය ගිය මහජනතාව සිහිපත් කරමින් දෙසැම්බර් මස 26 වැනි දින පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට ද ශ්‍රී ලාංකිකයන් කටයුතු කරනවා.

ඒ අනුව සුනාමි ව්‍යවසනයෙන් සහ අනෙකුත් ආපදා වලින් මියගිය ජනතාව සිහිකර පෙරවරු 9යි 25 සිට පෙරවරු 9යි 27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.

සුනාමි ව්‍යවසනයට හසු ව හානිවූ අංක 50 දරණ දුම්රිය එන්ජිම සහිත දුම්රියක් ද මෙම අවස්ථාවේ දී පැරෑලිය වෙත පැමිණෙන අතර සුනාමියෙන් මිය ගිය අයගේ පවුල්වල ඥාතීන් පිරිසක් එම දුම්රියෙන් පැමිණ සැමරුම් වැඩසටහන හා එක්වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *