නිහාල් නෙල්සන් අද දැයෙන් සමුගනී

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පි නිහාල් නෙල්සන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) මොරටුව – සොයිසාපුර මහල් නිවාස සංකීර්ණ ක්‍රීඩාංගණයේ දී සිදු කිරීමට නියමිත යි.
පසුගිය දා මිය යන විට ඔහුගේ වයස අවුරුදු 76ක්.
මිය යන විට ඔහු කැසට් පට 113ක් සඳහා තම හඬ මුසු කර තිබුණා.
නිහාල් නෙල්සන් ලාංකීය ගීත කලාව තුළ සුවිශේෂී සටහනක් තැබූ ගායන ශිල්පියෙකු වන්නේ පොදු සමාජ මතවාදයන්, අත්දැකීම් සහ ලාංකීය සංස්කෘතියේ වටිනාකම් පිළිබඳව සරල බසකින් ගී ගැයීම නිසාවෙන්.
බොහෝ ගීත ඔහු විසින්ම නිර්මාණය කර ඉදිරිපත් කළ අතර, ඒවා මෙරට රසිකයින් ආදරයෙන් වැළඳ ගත්තා.
බයිලා ගීත ගායකයෙකු ලෙස කරළියට පැමිණි ඔහු 1946 වසරේදී මොරටුවේ වෙළඳ ව්‍යාපාරිකයෙකු වූ ජී.ඩී. හෙන්ද්‍රික් සහ ඉංග්‍රීසි ගුරුවරියක වූ හේමා වීරවර්ධන යුවලට දාව පවුලේ එකම දරුවා ලෙස උපත ලැබුවා.
රාවතාවත්ත රෝමානු කතෝලික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන ලැබූ නිහාල් නෙල්සන් පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා මොරටුව විද්‍යාලයට පිවිසියා.
ඉන් අනතුරුව වැල්ලවත්ත පොලි ටෙක්නික් විද්‍යාලයට පිවිසි නිහාල් නෙල්සන් පාලි සහ සංස්කෘත භාෂාවන් පිළිබඳවද හැදෑරූ කලාකරුවෙක්.
පාසලේ පන්ති කාමරයෙන් සංගීතයෙන් මුලකුරු කී නිහාල් නෙල්සන් 1962 වසරේ දී එනම් ඔහුට වයස අවුරුදුබ 16ක් වද්දී, තමාම ලියා තනුවක් යෙදූ ගීතයක් මොරටුව විවාහ මංගල උත්සවයක දී ගායනා කරමින් තම සංගීත ගමන ආරම්භ කළා.
නිහාල් නෙල්සන්ගේ මුල්ම ගීතය වන ලස්සනට පිපුණු වන මල් ගීතය 1963 වසරේ දිනකදී කොල්ලුපිටියේ සරසවි චිත්‍රාගාරයේදී පටිගත කරනු ලැබුවේ ඒ ගමනේ ප්‍රතිඵලයක් ලෙසයි.
ප්‍රසංග වේදිකාවේ අපරාජිතයා ලෙස හදුන්වන නිහාල් නෙල්සන් කැසට් පට 113ක් නිකුත් කර තිබෙනවා.
එය මෙරට ගායන ශිල්පියෙකු නිකුත් කළ වැඩිම කැසට් පට සංඛ්‍යාවයි.
ප්‍රසංග වේදිකාවේ නිහතමානි මිනිසෙකු වූ ඔහු ඒ මත කරුණා සුවඳ තවරා අද දැයෙන් සමුගන්නේ කිසි දිනෙක නොමියෙන ගී ගොන්නක් සැමට තිලිණ කරමින්.