ජනපති ඉන්දියාවට ශෝකය පළ කරයි

රනිල් වික්‍රමසිංහ

ඉන්දියාවේ ගුජරාටේ ප්‍රාන්තයේ මෝර්බි හි පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් 91 දෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය රජය සහ ජනතාව වෙත සිය ශෝකය පළ කර තිබෙනවා.

ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම සිදුවීමෙන් තුවාල ලැබූවන් වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි.

මචු ගඟට වැටුණු තවත් සියයට අධික පිරිසක් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉන්දියාව බ්‍රිතාන්‍යයට යටත්ව පැවති 19 වන ශත වර්ෂයේදී ඉදි කරන ලද මෙම පාලම ප්‍රතිසංස්කරණය කර සතියකට පසු මෙලෙස කඩාවැටී තිබීම විශේෂත්වයක්.

අහමදාබාද් හි සිට කිලෝමීටර 200 දුරින් පිහිටි මෙම එල්ලෙන පාලම කඩාවැටී ඇත්තේ 500 ක පමණ පිරිසක් ආගමික උත්සවයට අදාළව චාරිත්‍ර සිදු කිරීම සඳහා එහි රැස්ව සිටියදියි.

පාලම කඩාවැටීමත් සමඟ ගඟට වැටුණු 80 දෙනෙකු පමණ බේරාගෙන තිබෙනවා.

පැරණි සහ ජනප්‍රිය සංචාරක ස්ථානයක් වන මෝබි හි මෙම කේබල් පාලම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මාස හතක් වසා තැබුණු අතර, එය ගුජරාට අලුත් අවුරුද්ද වන පසුගිය 26 වනදා නැවත මහ ජනතාවට විවෘත කරනු ලැබුවා.

මේ වනවිට ගුජරාටයේ සංචාරයක නිරත වන ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් දැඩි ලෙස ශෝකයට පත්වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *