පහළ වායු ගෝලයේ කැලඹිල්ල තවදුරටත්

වැසි

දිවයින ආශ්‍රිත ව පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතිනු ඇති බවත් එබැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බර ව පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව සඳහන්.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති වීමේ හැකියාවක් පවතින බවත් වාර්තා වනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, පවතින අධික වර්ෂාපනතය හමුවවේ කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

ඒ අනුව කලුතර දිස්ත්‍රික්කයේ ඉංඟිරිය, බුලත්සිංහල, වළල්ලාවිට, පාලින්දනුවර සහ දොඩංගොඩ ප්‍රදේශවල නාය යෑමේ අවදානම් ඇති විය හැකි අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, රත්නපුර, ඇළපාත , අයගම, කිරිඇල්ල, පැල්මඩුල්ල, කලවාන, නිවිතිගල යන ප්‍රදේශවලද නාය යෑමේ අවදානම පවතින බව යි එම සංවිධානය වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ගත වූ පැය විසි හතර තුළ වැඩි ම වර්ෂාපතනය හොරණ ප්‍රදේශයෙන් වාර්තා වන අතර, එය මිලිමීටර 194.5ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *