සනත් නිශාන්ත අත් අඩංගුවට ගැනීමට නියෝග

sanath nishantha

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය පොලිස්පතිවරයාට අද (13) නියෝග කළා.

ඉකුත් අවස්ථාවක මාධ්‍ය හමුවක දී අධිකරණය විසින් ලබා දෙන තීන්දු පිළිබඳ දැක් වූ අදහසක් හේතුවෙනු යි සනත් නිශාන්තට චෝදනා එල්ල වුණේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් දක්වා තිබුණා.

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි ව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ චෝදනා පත්‍රයක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට වහා ම පියවර ගන්නා ලෙසට අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නීතිපතිවරයාට නියම කරනු ලැබුවා.

චෝදනා සැළකිල්ලට ගෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නො කිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝබර් මස 13 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යි අභියාචනාධිකරණය ඔහුට සිතාසි නිකුත් කර තිබුණේ.

අදාළ මාධ්‍ය හමුවේ වීඩියෝ දර්ශන හඬ පට හා ප්‍රවෘත්ති වාර්තා මෙන්ම අනෙකුත් සාක්ෂි ලේඛන අනුව වගඋත්තරකරු අධිකරණයට හා අධිකරණ විනිසුරුවරුන්ට අපහාසයක් සිදු කර ඇති බව බැලූ බැල්මට අනුමාන කළ හැකි බවට නිගමනය කළ විනිසුරු මඬුල්ල, ඔහුට එරෙහි ව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩුකරයක් පවත්වාගෙන යාමට තීරණය කරමින් එම නියෝගය නිකුත් කළා.

කෙසේ වෙතත් මෙම නියෝගය නිකුත් කිරීමෙන් පසු ව රාජ්‍ය අමාත්‍යවරයා අධිකරණය හමුවේ පෙනී සිටි බවයි wm අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *