ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් තරගයට

ශ්‍රි ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම අතර පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 01ක තියුණු ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් තරගයේ දී ඉන්දීය කණ්ඩායම මුණ ගැසෙනු ඇති.
ජයග්‍රහණය සඳහා ලකුණු 123 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී රැස්කර ගත්තේ ලකුණු121 පමණයි.
පාකිස්තාන කණ්ඩායම සඳහා ආරම්භක පිතිකරු යුගලය ප්‍රවේගවත් ආරම්භයක් ලබා දුන්නේ පන්දු ඕවර තුනක් තුළ දී ලකුණු තිස් එකක් රැස්කර ගනිමින්.
එම සම්බන්ධතාව බිඳ වැටුනේ වේගවත් පිතිහරඹයක නිරත වූ මුනිබා අලී ලකුණු 18 ට දුවද්දී දැවී යාමත් සමගයි.
ඇය එම ලකුණු 18 ලබා ගැනීම සඳහා මුහුණ දුන්නේ පන්දු දහයකට පමණයි.
ඉන් අනතුරුව නායකත්වයේ වගකීම කරට ගත් පාකිස්තාන කණ්ඩායමේ බිෂ්මා මරූෆ් පන්දු 41 කදී ලකුණු 42 ක් රැස්කර ගත්තා.
ඇයගේ ඉනිම තුල හතරේ පහර 4ක් අන්තර්ගත වී තිබුණා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් පාකිස්තාන ක්‍රීඩිකාවන්ට දැඩි පීඩනයක් එල්ල කළේ ඔවුන්ගේ කඩුළු පහක් ම බිඳ දමමින්.
අතිශය තියුණු අවසානයක් කරා තරගය රැගෙන ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පන්දු යවන්නන් පාකිස්තාන කණ්ඩායමට අවසාන පන්දු ඕවරයේ ලකුණු 9 ක ඉලක්කයක් ලබා දුන්නා.
නමුත් එම ඕවරයේ දී පාකිස්ථාන ක්‍රීඩිකාවන්ට රැස්කර ගත හැකි වූයේ, ලකුණු 7ක් පමණයි.
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන්දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 6 ක් දැවී ලකුණු 122 ලබා ගත්තා.
කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර පාකිස්තාන දඟ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට නිදහසේ පහරවල් කරා යොමු වීමට හැකියාවක් ලැබුනේ නැහැ.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ හර්ශිකා මාධවී ඇය පන්දු 41 ට මුහුණ දෙමින් ලකුණු 35 ක් ලබාගත් අතර ඇයගේ ඉනිමට එක් හතරේ පහරක් පමණක් අන්තර්ගත වී තිබුණා.
මීට අමතරව ආරම්භක පිතිකාරිකාරිනිය වන අනුෂ්කා සංජීවනී පන්දු 21 කදී ලකුණු 26 ක් රැස්කර ගත්තා.
පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් නස්‍රා සදා ලකුණු 17 ට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.