ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් ජනපතිගෙන් පණිවුඩයක්

සියලු දරුවන් හා වැඩිහිටියන් තමන්ගේ සමීපතමයන් සේ සලකා ඔවුන් දෙස සෙනෙහසින් බලන, දකින සහ ක්‍රියාකරන යුගයක් උදා කරගැනීමට සැවොම එක්වී කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයාගේ පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

“සමකාලීන සමාජයේ වෙසෙන වැඩිහිටි අපට ගෝචර වන ලෝකය, දරුවන්ගේ ලෝකය නොවේ. එය බෙහෙවින් සරලය. මටසිලිටුය. ඔවුන් කුතුහලයෙන් පිපාසිතය. වැඩිහිටි අපි ඒ පිළිබඳ නුවණින් වටහා ගෙන, පෙර නොවූ විරූ ලෝකයක් ඔවුන් වෙනුවෙන් නිර්මාණය කිරීමට වගබලා ගත යුතුය.”

“දරුවන්ගේ සුන්දර ළමා කාලය මෙන්ම අපේ රටේ උන්නතිය උදෙසා අසීමිත කැපකිරීම් කළ වැඩිහිටි ප්‍රජාව ද සෙනෙහසින් රැකබලා ගැනීම අපගේ යුතුකමකි. එය අපේ සංස්කෘතිය හා බද්ධව පවතී. ආහාරපාන, අධ්‍යාපනය, ක්‍රීඩාව, සෞන්දර්යය, විවේකය, නින්ද, මානසික සුවය, ශාරීරික නිරෝගීතාව දරුවන්ගේ අවශ්‍යතාවලින් කිහිපයක් පමණි. ඒවා ලබාදීමට අපි සංස්කෘතිකමය හා නෛතික වශයෙන් බැඳී සිටිමු. රජය හැරුණු කොට ඔවුන්ගේ අවශ්‍යතා පසුවට කල් නොතබා ඉටු කිරීම මව්පියන්, ගුරුවරු ඇතුළු සිවිල් සංවිධාන නියෝජනය කරන සියලුදෙනාගේ ද වගකීම ලෙස මම දකිමි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *