ජාතික සභාවේ පළමු රැස්වීම අද

පාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කෙරුණු ජාතික සභාව නමින් හැඳින්වෙන පාර්ලිමේන්තු කාරක සභාව අද (29) පළමු වරට රැස්වීමට නියමිතව තිබෙනවා.

අද පෙරවරු 10.30ට  පාර්ලිමේන්තුවේ දී එම සභාව රැස්වීමට නියමිත අතර එහිදි ජාතික සභාවේ මූලික කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි.

රටේ ආර්ථික හා දේශපාලනික ගැටලුවලට විසඳුම් සෙවීමේ අරමුණින් ජාතික සභාව පිහිටුවීමේ යෝජනාවට පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.

කථානායකවරයා සභාපතීත්වය දරණ එම සභාවට අග්‍රාමාත්‍යවරයා, සභා නායකවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු ඇතුළු 35කට නොවැඩි සාමාජික සංඛ්‍යාවක් ඇතුළත් වේ.

කෙසේවෙතත් අද පැවැත්වීමට නියමිත ජාතික සභාවට තමන් සහභාගී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

අද දින වෙනත් ජන හමු කිහිපයකට සහභාගී වීමට නියමිතව ඇති බැවින් ජාතික සභාවට තමන්ට සහභාගි වීමට නොහැකි බව විපක්ෂ නායකවරයා පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ජනබලවේගය, දෙමළ ජාතික සන්ධානය, උත්තර ලංකා සභාගාය නියෝජනය කරන පක්ෂ හා ඩලස් අලහප්පෙරුම මහතාගේ පාර්ශවය ජාතික සභාවට සහභාගී නොවන බව මීට පෙර දැනුම් දී තිබුණි.

මේ අතර දෙමළ ප්‍රගතිශීලි සන්ධානය අද පැවැත්වෙන ජාතික සභාවට සහභාගී වන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පෙරවරු 09.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වෙනු ඇතී.

එළැඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා එම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉදිරියේදී පත් කිරීමට නියමිත කෝප් සහ කෝපා කමිටු පිහිටුවීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *