ණය ප්‍රතිව්‍යුහහතකරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ජපානයේ සහාය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ අවසන් එකඟතාවයකට පැමිණිය හැකි වන පරිදි ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ක්‍රියාවලියට සහාය දැක්වීමට ජපානය ශ්‍රී ලංකාව සමඟ සිටින බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිසුකොෂි (Hideaki Mizukoshi) පවසනවා.

රොයිටර් පුවත් සේවය ජපානයේ මෙරට තානාපතිවරයා උපුටා දක්වමින් කියා සිටින්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන්ගෙන් අයෙක් වන ජපානය, චීනය සහ ඉන්දියාව ඇතුළු අනෙකුත් ණය දෙන රටවල් සමඟ ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට අදහස් කරන බවයි.

මෙරට රජයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ මුළු ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10 ක් පමණ වන ඩොලර් බිලියන 3.5 ක් පමණ ජපානය සතු වන අතර දිවයිනේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.4%ක කොටසක් සඳහා ජපානය ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවෙක් ලෙස කටයුතු කරන බවයි එම පුවත් සේවය සඳහන් කරන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ක්‍රියාවලියට ජපානය සහාය දක්වන නමුත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමෙන් පසුව පමණක් විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කරන බවයි ජපාන තානාපතිවරයා පවසා ඇත්තේ.

2020 දී ශ්‍රී ලංකාව මූල්‍ය ගැටලු සඳහන් කරමින් වාණිජ අගනුවර වන කොළඹ සඳහා ඩොලර් බිලියන 1.5 ක ජපන් ආධාර සහිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් අත්හිටුවන ලදී.

අර්බුදකාරී ආර්ථික තත්ත්වයෙන් මුදීමේ මගක් සොයමින් සිටින ශ්‍රී ලංකාව සිය විදේශ ණයවලින් ඩොලර් බිලියන 30 ක් පමණ ප්‍රතිව්‍යුහගත කිරීමට උත්සාහ දරමින් සිටිනවා.

පසුගිය දා අවසන් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් විසින් මාස 48ක කාලයක් සඳහා වන පරිදි ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පැකේජයක් මෙරටට ලබා දීමට එකඟතාව පළ කළා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා “ණය සමුළුවක්” පවත්වන ලෙස ද මීට පෙර ජපානයෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ද ජපානයෙන් ලැබී තිබුණා.

ඒ කෙසේ වෙතත් ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් 26 වැනි දා ජපානය බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේ දී ජනාධිපතිවරයා, ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සහ ජපාන රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හමුවීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එම සංචාරය නිමා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පිලිපීනයේ මැනිලා නුවර බලා යාමට නියමිත අතර එහි දී පිලිපීන ජනාධිපති ෆර්ඩිනඩ් මාකෝස් ජූනියර් හමු වීමට නියමිතයි.

අනතුරුව ඔහු මැනිලා අගනුවර දී පැවැත් වීමට නියමිත ආසියානු සංවර්ධන බැංකුවේ සමුළුවකට ද සහභාගී වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *