හිටපු ජනපති ගෝඨාභයගේ එතෙර වියදම් ගැන පැහැදිලි කිරීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා සිය මුදල් වැය නොකරන බව රජය පවසනවා. එම සියලු වියදම් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික මුදලින් දරණ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

විදෙස් ගතව සිටින හිටපු ජනාධිපතිවරයාගේ වියදම් සඳහා රජය මුදල් වැය කරන බව හැගවෙන අයුරින් ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබූ බව ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සදහන් කළා. ඒ, මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ එම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බලන බවයි.

මේ අතර විදෙස් ගතව සිටින තමාගේ සියලු වියදම් සඳහා වැය කරනු ලබන්නේ සිය පෞද්ගලික මුදල් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළ බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ජූලි 09 වනදා පැවති අරගලයෙන් අනතුරුව පළමුව සිංගප්පූරුව වෙත ගිය හිටපු ජනාධිපතිවරයා මේ වනවිට රැදී සිටින්නේ තායිලන්තයේයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *